කුරුණෑගල යුගයේ සාහිත්‍ය

ක්‍රි.ව. 1293 පමණ කාලයේ යාපහුව රාජධානිය බිඳ වැටීමෙන් පසුව කුරුණෑගල මෙරට ප්‍රධාන පාලන මධ්‍යස්ථානය විය. කුරුණෑගල කාලයේ බිහි වූ සාහිත්‍ය කෘති ප්‍රමාණය ද අතිමහත් ය. පහතින් දැක්වෙන්නේ මෙම යුගයේ ලියැවුණු ගද්‍ය ග්‍රන්ථ කිහිපයකි.

පන්සිය පනස් ජාතක පොත් වහන්සේ – පාලි ජාතකට්ඨකථාව සිංහලයට නැගීමෙන් රචිත කෘතියකි. මෙය මහජනතාව අතර කෙතරම් ගෞරවාදරයට පාත්‍ර වූවා ද යන්න පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ලෙස හැඳින්වීමෙන් ම පැහැදිලි වේ.

සිංහල බෝධිවංසය – පාලි බෝධිවංසයෙහි සිංහල පරිවර්තනයක් ලෙස මෙය හඳුනාගෙන ඇත. බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේ දී සෙවණ දුන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඉතිහාසය මෙන්ම ආනන්ද බෝධිය, ජය ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩමවීම, අෂ්ටඵල රුහ බෝධි හා දෙතිස්ඵල රුහ බෝධි රෝපණය ආදී බොහෝ විස්තර මෙහි දක්නට ලැබේ.

ථූපවංසය – විද්‍යා චක්‍රවර්තී පරාක්‍රම පණ්ඩිත නම් තැනැත්තකු විසින් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත. රුවන්වැලි මහා සෑ රදුන්ගේ විස්තරය මෙහි දැක්වේ. ශාසන ඉතිහාසය පිළිබඳ තොරතුරු ද මෙහි ඇතුළත් වී ඇත.